Sunday, August 20, 2017

ගුත්තිල කාව්‍යය හා මානව කේන්ද්‍රීය ලක්ෂණ  



ගුත්තිල කාව්‍යය හා මානව කේන්ද්‍රීය ලක්ෂණ


කෝට්ටේ යුගය පැරණි සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හැ`දින්වෙයි. එම යුගයේ රචනා කෙරුණු ගුත්තිල කාව්‍යයට ඉමහත් වැදගත් ස්ථානයක් හිමි වෙයි.  ”කාව්‍ය වූ කලී රසාත්මක වූ වාක්‍යයකි ” ලෙස භාරතීය විචාරකයෙකු වූ විශ්වනාථ ප‍්‍රකාශ කර තිබේ. රසය මෙන් ම සියුම් ලක්ෂණ ඉස්මතුකර දැක්වීම ද ප‍්‍රතිභා පූර්ණ කවියෙකුගේ නිර්මාණ වල ගැබ්ව තිබේ. වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යය උදෙසා නූතන සාහිත්‍ය විචාරකයින් ද විශේෂ අවධානයක් යොමු කරන බව ප‍්‍රකට කරුණකි. එයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ එම කෘතිය තුළ සර්වකාලීන ලක්ෂණ ගැබ් ව තිබීමයි. මෙහි ලා ගුත්තිලයේ තිබෙන මානව කේන්ද්‍රිය ලක්ෂණ උදෙසා ද විශේෂ තැනක් හිමි වෙයි. එදා මෙදා තුර පොදුවේ මානවයා තුළ දක්වට ලැබෙන බාහිර හා විඥානමය ලක්ෂණ වර්තමානයේ දී ත් දක්නට ලැබේ. එබැවින් ගුත්තිලය යනු එම මානව කේන්ද්‍රීය ලක්ෂණ පෙන්වන සර්වකාලීන කෘතියකි.
ගුත්තිල කාව්‍යයේ කතා වස්තුවේ ජාතක කතා පොතෙන් උපුටා ගත්තකි. මෙහි ප‍්‍රධාන චරිත ද්විත්වය වන්නේ ගුත්තිල නම් ඇ`දුරුතුමා සහ මූසිල නම් ඔහුගේ ගෝලයා ය. ජාතක කතා කරුවා මෙම කතාව දක්වා ඇත්තේ ගුරුවරයෙකුට විරුද්ධව තරග කෙරූ ගෝලයෙකුගේ සිතෙහි උපන් මානය පෙන්වා, එය ගැරහීමට පාත‍්‍ර කිරීමෙනි. ධර්ම ග‍්‍රන්ථයක් වන ජාතක කතා පොතෙහි බෝධි සත්ත්ව චරිතය අන් සෑම චරිතයකට ම වඩා කැපී පෙනෙන අද්විතීය ගණයේ චරිතයක් ලෙසටත්, පව්කාර චරිතයන්ට එය පල දෙන අයුරු දැක්වීමත් ජාතක කතා පොතෙහි දැක්වේ. ගුත්තිලට විරුද්ධ වී මූසිල තරග කිරීම වරදක් බවට ජාතක කතා පොතෙහි දැක්වේ. නමුත් ගුත්තිල කාව්‍යයේ එම කතාව ගැඹුරු මානව කේන්ද්‍රීය ලක්ෂණ වලින් සමන්විත ය.
කාව්‍ය රචකයෙක් යනු, මිනිස් චරිතය තුළට විනිවිද බල්නනෙකි. මිනිස් චරිත අභ්‍යන්තරය ගෙනහැර දක්වන්නෙකි. එසේම මිනිසුන් අතර ඇතිවන විවිධ අන්දමේ ගැටුම් වල දී සාමාන්‍ය ජනයාට එම ගැටුමේ නොපෙනෙන මානයන් පෙන්නුම් කිරීම ගුත්තිල කාව්‍යයේ දක්නට ලැබෙයි. ජාතක කතා පොතෙන් පිළිබිඹු වන දර්ශනයට හාත්පසින් ම වෙනස් දර්ශනයක් ගුත්තිල කාව්‍යයෙන් පිළිබිඹුවෙයි. කවියාගේ ප‍්‍රතිභාවය මෙයින් පෙන්නුම් කෙරෙයි.
වෑත්තෑවේ හිමියන් ගුත්තිල දෙස මෙන් ම මූසිල දෙස බලන්නේ ද එක හා සමාන සානුකම්පිත බැල්මකිනි. ගුත්තිල සම්පූර්ණ ලෙස ම නිවැරදිකරුවෙකු ලෙස හෝ මූසිල සම්පූර්ණ ලෙස ම වැරදිකාරයෙකු ලෙස නිර්මාණකරුවා නොදක්වයි. වෑත්තෑවේ හිමියන් රාහුල හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ බවත්, තමාට වූ නොසැලකිලි පිළිබ`දව තැවුලට පත් වූ ගෝල නම ගුත්තිල කාව්‍යය රචනා කර ගුත්තිලගේ කුහක කම් ද පෙන්වා දී සිය ආචාර්යවරයාට සරදම් කළ බව ජනකතා වල දැක්වේ.
”නින්දා බස් කියන
වෙළෙ`දුනි වෙන           වැයීමෙන
මට වැඩි තරම්   වන
එකකු දුටුවා ඇද්ද වෙන  තැන”

වීණා වාදනය කරන අතරරෙහි වෙළෙන්`දන් පිරිසක් මූසිලට සිනහ වෙති. මූසිල විසින් තමාට වඩා ඉතා දක්ෂ ලෙස වීණා වාදනය කරනන්නෙකු සිටී ද ඒ කවුරුන්දැයි විමසයි. ඒ තොරතුරු මත මූසිල තම ශිල්ප ඥානය වැඩි දියුණු කර ගැනීම පිණිස ගුත්තිල ඇදුරන් සොයාගෙන යයි. තමාට ඩවා කෙනෙක් දක්ෂ නම් තමා ද ඒ මට්ට්මට පත් වීමේ උවමනාව මිනිසා තුළ තිබෙන ලක්ෂණයකි. වෑත්තෑවේ හිමියන් මෙම ලක්ෂණය මූසිල තුළින් ද ගම්‍ය කරයි.

දඹදිව් තල                නොයෙක
දුරු කර පිළිඇදුරු              සැක
  සිප් සයුර තෙර                 දැක
  වසන සඳ අඳ දෙමව්පිය        රැුක

වීණා ශිල්ප ශාස්ත‍්‍රයේ එතෙරටම පැමිණ අන්ධ දෙමාපියන් රැුක ගනිමින් ජීවත් වන අයුරු ඉහත කවියේ දක්වා තිබේ. මව්පිය උපස්ථානය යන්න මානව කේන්ද්‍රීය ගුණයකි. වෑත්තෑවේ හිමියන් එම ගුණය ඉස්මතු කරමින් ගුත්තිල ඇඳුරුතුමා පිළිබඳ යම් දැක්මක් ඉදිරිපත් කරයි.
 මූසිල ගුත්තිලගෙන් ශිල්ප හැදෑරීමට අවසර පතමින් පැමිණි අවස්ථාවේ දී මූසිලගේ නිහතමානීකම කවියා මතු කරයි. මූසිලගේ වීණා නාදයේ අමිහිරි හ`ඩට අන්ධ දෙමව්පියන් මීයන්ගේ ශබ්දයක් යැයි රැුවටී සූ සූ යැයි හ`ඩ න`ගා කෑ ගසති. නමුත් එයින් මූසිල කිපෙන්නේ නැත. එහි දී මානව කේනිද්‍රීය ලක්ෂණ මතු කෙරෙයි. අන්ධ දෙමාපියන් යුවළක් වන අසරණ නිරවද්‍ය පුද්ගලයින්ට අනුකම්පා කිරීම සාපේක්ෂ මානව ලක්ෂණයකි. එමෙන් ම තම ගුරුවරයාගේ දෙමව්පියන්ට ගරු කිරීම ද මෙහි දී දැක්වෙයි.
”අඳ මවුපිය දෙදෙ              
ඔහු වයන බව නොම දැ            
කතී වෙන මීය                      
සූසූ ය යි අත ගැසූ සැකයෙ         න”

”එ අසා වෙණ ත                       බා
සිතෙහි ගරු මන් නොත     බා
  උන් පද හිස ත                       බා
  නැමද මෙලෙසින් කියයි           ගදඹා”

අන්ධ මව් පියන් දෙදෙනා වීණාව මීයන් කති යැයි සැක සිතී සූසූ ගාමින් අතට ගැසූ නිසා මූසිල ඒත් සමග තමාගේ මානය නැති කරගෙන ගුත්තිලගේ දෙපා ළග වැටී තමාට ශිල්ප උගන්වන ලෙසට අයදියි. මේ නිදසුනින් මූසිල යනු නිහතමානී ගුරු භක්තිය සහිත වූවෙක් බව වෑත්තෑවේ හිමි ඒත්තු ගන්වා ඇත.
ගුත්තිලගේ චරිතය පිළිබ`දව විමසීමේ දී ගුත්තිල ඇදුරා බෝසත් චරිතයක් ලෙස හුවා දැක්වීමට වඩා හණ මිටි යුගයේ සිටි, තම ගෝලයාගේ දියුණුව පවා නොතකන, ඔහුට ඊර්ෂ්‍යා කරන කුහක සිතුවිලි වලින් පිරී ගිය මහ`එ ගුරුවරයෙකු ලෙස දක්වා තිබෙයි. සැබැවින් ම වර්තමාන සමාජයේ ද මෙවැනි පුද්ගලයින් සිටිති. තමා සමග සිටි පුද්ගලයෙකු තමා පරයා ඉහළට යාම දැක සතුටු වීමට තරම් පුද්ගලයින් සිටින්නේ අල්ප වශයෙනි. එය මිනිස් ස්වභාවයයි. මෙම මිනිස් ස්වභාවය සියුම්ව විනිවිද දැකීමට හා ගෙන හැර දැක්වීමට වෑත්තෑවේ හිමියෝ සමත් වෙති.
වීණා ශිල්පය ඉගෙන ගැනීමට ගුත්තිල ඇදුරුතුමන් හමුවට යන මුසිලට වීණා වාදනය ඉගැන්වීමට ගුත්තිල පසුබට වෙයි. ගුත්තිල ඇදුරා මුලින් ම මුසිලගේ ශරීර ලක්ෂණ විමසයි. එහි දී මූූසිල දුර්ගුණයෙක් බව පසක් කර ගනියි. පසුව දෙමව්පියන්ගේ ඇවටිල්ල හේතුවෙන් ඔහු වීණා වාදනය ඉගැන්වීම ආරම්භ කරයි. තමා සතු දැනුම තවත් කෙනෙකුට ලබා දීමට තරමක් මැලිවන ගුත්තිල චරිතය උපහාසාත්මකව ගෙන දක්වන්නේ මෙසේ ය.

බලමින් ලකුණු ගත
දුදන ගුණ දැන ඔහු සිත
නො වසව තෙපි ම       වෙත
ශිල්ප නොදෙමැයි කීවෙන් මහ සත

ගුරුවරයෙක් තුළ ගුරු මුෂ්ටියක් නොතිබිය යුතු බව පොදු පිළි ගැනීමයි. නමුත් මනුෂ්‍යයෙක් වන ගුත්තිල ඇදුරා එක් වරම ගුත්තිලට ශිල්ප ලබා දීම ප‍්‍රතික්ෂේප කරයි. ඒ ම`ගින් ගුත්තිල ඇදුරාගේ කුහක ස්වභාවය ද, ඔහු තුළ තිබෙන සුක්ෂම දුර දක්නා නුවණ ද ප‍්‍රකට කෙරෙයි. ගුරුවරයෙක් තමාගේ ශිෂ්‍යයන් කෙරෙහි තොරතුරු සොයා බැලීම සාමාන්‍යයෙන් සිදු කරයි. ගුත්තිල ද මෙම අවස්ථවේ දී සිදු කරන්නේ එය වේ.

හිමි තම නැණ නැ                  වින්
  සැදි ගී තරඟ බෙහෙවි                 න්
වෙණ සිප් මහණ                    වින්
කෙළේ ඔහු පරතෙරට මැන         වින්
එමෙන්ම ගුරුවරයා තරමටම ඔහු වීණා ශිල්පය ප‍්‍රගුණ කළේ සුවච කීකරුව උගත් බැවිණි.
එසේ වුවහොත්                  හිමි
ඔහුට මම අතවැසි              වෙමි
මෙ මිල ආපසු                  දෙමි
මමත් ඔබ යන කල සමඟ      යෙමි

තමා බරණැස් නුවරට රැුගෙන යන ලෙස ඔහු කරන ඉල්ලීම ඉතා නිහතමානීය. මූසිල නිරහංකාර නිහතමානී ගුණ ඇත්තෙකු ලෙස ජාතක කතා කරු කිසිඳු විටෙක දක්වා නැත. නමුත් ගුත්තිලයේ එසේ සිදු කර නොමැත.
එමෙන් ම මූසිල තුළ තිබෙන වීණා වාදනය ඉගෙන ගැනීම කෙරෙහි ඇති බලවත් ආශාව පහත කවියෙන් දැක්වෙයි. ගුත්තිල ඇදුරු ශිල්ප ලබා දීම ප‍්‍රතික්ෂේප කළ විට මූසිල තම අරමුණ සඵල කර ගැනීම උදෙසා ගුත්තිල ඇදුරුගේ අන්ධ දෙමව්පියන්ට අත් පා මෙහෙවරකම් සිදු කරන ලදි. මෙහි දී මූසිල අවංකල නිරහංකාර චරිතයක් ලෙස දක්වා ඇතග
අඳ මව් පියන්                       හට
නිතර අත්පා මෙහෙ               කොට
  උන්ගෙන්                       බෝසතුනට
  කියැවී වෙණසිප්                         ඉගැන්වීමට
මෙයින් විටෙක පිළිබිඹු කෙරෙන්නේ මූසිල තුළ තිබෙන දැඩි අධිෂ්ථානය සහ කපටිකම ද විය හැකි ය. ගුත්තිල ඇදුරාගේ දෙමව්පියන්ට සැලකීම, තම අරමුණ ඉටු කර ගැනීමට ගුරුවරයා කැමති කරවා ගැනීමට සුදුසු ම ක‍්‍රමය මෙය බව ඔහු වටහා ගන්නට ඇත.
පසුව ගුත්තිල මව්පියන්ගේ ඇවටිලි නිසා මූසිලට ශාස්ත‍්‍රය ඉගැන්වීමට කැමැත්ත පළ කළේ මේ අයුරින් ය.
”මෙලෙසින් නොයෙක වර
දෙමවු පිය කී මෙහෙ වර
නොකළහොත් අන දර
වෙතියි ඔහුගේ නුගුණ නොස මර”

දෙමව්පියන්ගේ ඇවටිලිකම් වලින් දරුවන් දෙමව්පියන්ගේ කීමට යටත් වන මානව කේන්ද්‍රීය ලක්ෂණය ඉහත සිදුවීමෙන් පිළිබිඹු වෙයි. මුහුණ බලා දුදනෙකු යැයි ගරහා, පසුව දෙමව්පියන්ගේ ඇවටිලි බස් නිසා ශාස්ත‍්‍රය හදාරවන්නට ඉදිරිපත් වූ ගුරුවරයෙකුට විරුද්ධව ඔහුගේ මානසික වදයකට ලක් වූ දෝෂාරෝපණය කිරීම වුව ද පුදුමයක් නොවේ. ගුරුවරයා කෙරෙන් නිතර ශාස්ත‍්‍රය ලැබුවත් මූසිලට තම යටි සිතේ එම සිදුවීම තැන්පත්ව තිබෙන්නට ඇත. මේ අනුව ගුත්තිලගේ චරිතය කවියා නිරූපණය කර ඇත්තේ ඔහුගේ මව්පිය භක්තිය මෙන් ම කුහක ගතිගුණ ද එක සේ නිරූපණය කර දක්වන අටියෙන් යැයි පැහැදිලිව වටහා ගත හැකි වේ.
ගුරුවරයා ද මහ`එ වියට පත්වන බව දකින මූසිල ගුත්තිලගෙන් රාජසභා සේවයට අවසර ඉල්ලූ විට ඔහු ක‍්‍රියා කරන ආකාරය ද ගුත්තිල සිත තුළ වූ කුහක කම හෙළි කරවයි.
අප අතවැසි ඔබ
සේවය කෙරෙයි හැම වි
රිසියෙන හිමි ඔබ
වැටුප් දුන මැනවි දිවි රැුකුම
අවංක ගුරුවරයෙකුගේ කාර්යය වන්නේ සිය ශිෂ්‍යයා වෙනුවෙන් කතා කිරීමේ දී හැකි ඉහළම වේතනය ඔහුට ලබා ගැනීමට මාර්ගය සැලසීමයි. එහෙත් ගුත්තිල ක‍්‍රියා කරන්නේ මූසිලගේ දක්ෂකම් ගණනකට නොගන්නෙකු ලෙස ය. ගෝලයාට පමණක් සු`එ වේතනයක් ඉල්ලා සිටීම ගුත්තිල තුළ තම ගෝලයා කෙරෙහි ඇති වී තිබූ ඊර්ෂ්‍යාව ගම්‍ය කෙරෙයි. තමාට වඩා ගෝලයාට උසස් තැනක් හිමි වීම ගුත්තිලට නුරුස්සන්නට ඇත.
බරණැස් රජ වාදයේ දී ද ගුත්තිල නිරූපණයට වන්නේ තම දක්ෂතාවයෙන් උදම්වන මානයෙන් ඇලලී ගිය පුද්ගලයෙක් වශයෙනි. තමාට තම ගෝලයා සමග තරග වැදීමට හැකියාවක් නොමැති බව ඔහු අවංකව ම දැන සිටිය ද, එය පිටතට යෙන්නුම් නොකරයි. මෙය මානව කේනද්‍රීය ලක්ෂණයකි. තමා යම් පුද්ගලයෙකුට වඩා අදක්ෂ කෙනෙකු බව තමන් දැන් සිටිය ද එය පිටතට පෙන්වීමට මිනිසුන් අකමැති ය. ගුත්තිලගේ චරිතයෙන් ද මෙම ලක්ෂණය මතු වේ. තමාගේ හැකියාවන් ගැන කියා පායි.
මූසිල හා වාද කරන්නට ගුත්තිලට නුසුදුසු වන බවත් මූසිල තමාගේ අතවැසියෙකු වන බවත් පවසමින් සත් වැනි දිනයේ දී මූසිල හා සමග ශිල්ප සටනට මුහුණ දෙන බව පවසමින් ගුත්තිල වාදය පැවැත්වීමට එක`ගවෙයි.
එබසට නො පැකිලී
සිතිවිලි දමෙහි පැකිලී
තෙපලෙන් මන  කලී
එස`ද බෝසත් මෙසේ     තෙපලී

තම ගෝලයාට දෙවැනි වීමට ඔහු තුළ තිබූ නොකැමැත්ත මෙයින් පැහැදිලි වෙයි. ගුත්තිලට සිය ගෝලයා සමග තරග කරන්නට සිදුවීම පිළිබ`දව ඔහු කණස්සල්ලට පත් වීම මෙම කවියෙන් දැක්වෙයි. එකක් ගැන සිතමින් තවත් ආකාරයකට කතා කරන තැනැත්තා කුහකයෙකු යැයි නිගමනයකට එළඹීමට හැකි ය. පිටතට හො`ද මුහුණ යෙන්වා තමාගේ සිතිවිලි සිතේ යටපත් කරගෙන තැබීම මනුෂ්‍ය ගතියකි.
ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර පැවතිය යුතු මානව සම්බන්ධතාව ගුත්තිල සහ මූසිලගේ සිදුවීම් ආශ‍්‍රයෙන් වෑත්තෑවේ හිමියෝ ඉදිරිපත් කරයි. ගුරුවරයා යනු තම ශිෂ්‍යයින්ගේ සාර්ථකත්වය හා දක්ෂතා දැක සතුටු වන්නෙක් මිස ශිෂ්‍යයාට අකුල් හෙලිය යුත්තෙක් නොවිය යුතු ය.
”ගින්නෙන් නැගුණු                    දුම්
  දවත හොත් වැද                    මහදුම්
එම ගිනි කඳ                          එදුම්
  කිමැයි නො දවා ද කර              විහිදුම්”
ගින්නෙන් නැගෙන දුමෙන් මහා ගස් දවා විනාශ කරන්නේ නම් ඒ දුමට මුල් වූ ගින්නට ඒ දුම පලවා හැරිය හැකි වුවත් තමා එසේ කරන්නනේ ඇයිදැයි පවසන ගුත්තිල ඇඳුරුතුමා තම ශිෂ්‍යයාට පරිභව නොකර ඔහුගේ දස්කම් හමුවේ තමා සතුටට පත්වන බව ඒත්තු ගන්වයි. මගේ දෙපා නැමැද වීණා ශිල්පය උගත් මේ ශිෂ්‍යයාට හැකි නම් මට බැරි කුමක් හෙයින් දැයි බස් දොඩයි.
රාජ සභාවේ දී මූසිලට නියෝග කළ නමුත් පසුව යටිසිතින් තමි නිසැකයෙන් ම මූසිලට පරදින බව ගුත්තිල දැන ගනියි. එය දත් ගුත්තිල ඉමහත් සිත් තැවුලෙන් වන ගන වීමට තීරණය කරයි. එවිට මූසිල තමාට කළ සතුරුකම් ගැන ද මෙනෙහි කරයි. තමා කළ හො`ද ගැන සිතා ඔහු කෝපයට පත් ව මූසිලට තනිවම බැණ වදියි.  පුද්ගලයෙක් තවත් කෙනෙක්ට උදව් උපකාර කර, පසුව ඒ පුද්ගලයා නිසාම තැවුලට පත්වීම සිදු වූ විට දී කෝපය ඇති වීම මානව ලක්ෂණයකි. එමෙන් ම තම ගෝලයා ඉදිරියේ පරාජයවීමට සිදුවුවහොත් ද ගුත්තිලට එය ද ඉවසා ගත නොහැකි වූ ආවේගයකි.

වැ`ද ගුරුවර සරණ
ඉගෙන වෙණ සිප්        අපමණ
නො සිතයි කෙළෙහි          ගුණ
මෙසේ සලකා ඔහුගෙ අවගුණ

කිරි සිප් නොදත්ත හු
දුරු රට සිට පැමිණිය හු
ලෙස සිය පිය සුත හු
හො`දයි ඇති කළ නිසා අප මො හු

දියෙහි යන දණ්ඩ
පිහිටක් වෙතත් පෙර සි
දුදනන් හට පිහි
නොවවු යන බස සැබෑ කළෙ ම

කොපමණ ගුණ               කළත්
දුදනෝ නොවෙති            යහපත්
  කිරි දියෙනි                  දෙවියත්
  අඟුරු සුදු වන කලෙක් නම්    නැත්

කොතරම් උදව් කළත් දුර්ජනයින් යහපත් නොවේ. එය අඟුරු කිරි වලින්  සෝදා දැමුවත් සුදු පැහැ නොවන්නා මෙනි. වැනි උපමා දක්වමින් දුදනන් පිළිබඳ දක්වා ඇත. වෑත්තෑවේ හිමියන් මින් අපේක්ෂා කර ඇත්තේ මූසිල දුර්ජනයකු වශයෙන් හංවඩු ගැසීමට නොවේ. සෑම මනුෂ්‍ය තුළ ම සුදන හා දුදන ගති ලක්ෂණ පවතින්නේ ය. ඒ සඳහා බලපානු ලබන්නේ ඒ ඒ පුද්ගලයා සමාජ හා ආර්ථික තත්වයන් ය. මූසිල මෙන් ම ගුත්තිල තුළ ද දුදන සහ සුදන ගති අඩුවැඩි වශයෙන් පවතී.  ඕනෑම මානව සමාජයක දුදනන් හා සුදනන් දැකිය හැකිය යන්න ඉන් වෑත්තෑවේ හිමියෝ පහදා දෙයි.
සමාන සේවයට සමාන වැටුපක් ඉල්ලීමේ දී සාධාරණ භාවයකින් කටයුතු කිරීම නිවැරදි ගුරුවරයෙකුගේ කාර්යයයි. නමුත් මෙම අවස්ථාවේ දී ගුත්තිල කෝපයෙන් කටයුතු කරන්නේ ඔහු තුළ තිබූ මානය නිසා ය. පෙර වෙණ වැයුමෙන් තමාට සමාන එකකු නැතැයි මානයට පත් වූ බවත්, දැන් එයට පහර වැදී ඇති බවත් හේ පවසයි.
මවෙන අසමානය
ඉන් කළෙමි පෙර   මානය
දැන් මට        සමානය
ඉතින් වි`ද කිම්ද අවමානය
වනයට නික්මෙන අවස්ථාව විසත්ර කිරීමේ දී ද ගුත්තිලගේ මානය පිළිබ`දව විස්තර කෙරෙයි. තමාට අතවැසි ව සිටි ගෝලයා උසස් තත්ත්වයකට පත්වීම ඔහු නොඉවසී ය. එය තමාට කරන නිගරුවක්, නිසරුවක් කොට සිතී ය. ගුත්තිල වනයට පිවිසෙන්නේ ඒ නිසා ය.
අතවැසිව සිටි මට
මොහුගෙන් වන නිසරු වට
නොපැමිණ පළමු         කොට
ගමන යෙහෙකැයි සිතා        වනයට
න්‍නයේ සිදුවන දෙයින් ද ගුත්තිලගේ චරිතයෙන් පිළිබිඹු වන්නේ ඔහු කෙසේ හෝ මෙම තරගය දිනීමට උත්සාහ කරන අයුරුයි. ඔහු ශක‍්‍ර දෙවියාට තමාට පිහිට වන ලෙස අයැදියි. වංචාවෙන් හෝ කෙසේ හෝ තමාගේ අරමුණට යෑම ගුත්තිලගේ ස්වභාවයයි. ඒ තරම්ම ඔහු හිතුවක්කාර ගුරෙකු ලෙස ද දැක්විය හැකි වේ.
දහසක් නුවන්
මු`එ ලොව බලන හැම ස `ද
පසි`දු සක් දෙව් ර
මෙමට ඔබ හැර පිහිට කවුරු

කවරෙකුට හෝ විරුද්ධව තරග කිරීමේ දී කෙසේ හෝ එයින් ජයග‍්‍රහණය ලබා ගැනීමට කටයුතු කිරීම මනුෂ්‍ය ස්වභාවයයි. එම ලක්ෂණය ගුත්තිලගෙන් ද නිරූපණය වෙයි. එමෙන් ම තමාට වේදනාවක්, ගැට`එවක් ඇති වූ අවස්ථාවක දී දෙවියන් යැදීම ද මානව කේන්ද්‍රීය ලක්ෂණයකි.
මූසිලගේ චරිතය ගත් කළ ඔහු වීණා වාදනයට ඉමහත් කැමැත්තක් දැක් වූ අයෙකු ලෙස පැහැසිලි වෙයි. ඔහු තමාට සිනාවෙන පිරිස් ඉදිරියේ දී අධෛර්යයට පත් නොවෙයි.
එයසා තුටු නොව
එ වෙළෙ`ද දනන්ගේ ම
තුටු කරවන සිති
ලිහිල් සැදුමෙන් වෙණ සදා ගෙ
වෙළෙ`දුන් පිනවාලීමට නොහැකි වූ ගුත්තිල ඉතා නිහතමානී ව හා ඥානවන්ත ව එයට හේතු විමසයි.
වීණා ශිල්පය උගන්නා මූසිල සිය ගුරුවරයා මෙන් ම රැුකියාවක් සොයා ගැනීමට රජ ඉදිරියට ගියවිට හැසිරෙන ආකාරයෙහි ද මැදිහත් සිතින් බලන්නෙකුට එහි වරදක් නොපෙනෙයි. ගුරෙකුට හෝ ගෝලයෙකුට එක හා සමාන සේවයක් කළත් වැටුපින් වෙනසක් කිරීම අසාධාරණ ය. ඒ බව නොතකමින් රජු මූසිලට වැටුපෙන් අඩක් දීමට අණ කරයි. මූසිල නැ`ගී එයට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන්නේ එබැවිනි. තමාත් ගුරුවරයා තරමට ම ශිල්පය දන්නා බවත්, තර`ගයට වාදනය කළත් සමාන බව පවසමින් මූසිල පවසා තිබෙන්නේ ගුරුවරයා සම`ග තරග කිරීමට අවශ්‍ය බවක් නොවේ ය යන්න පහත කවියෙන් ගම්‍ය වේ.
හිමි ඔබ ඉදිරියේ
වැයුවත් වෙණ ඉදිරියේ
සිල්ප එක සරියේ
එයින් දුන මැනවි පඩි සරියේ
වෑත්තෑවේ හිමියන් රචනා කරන පරිදි ගුත්තිල හා මූසිල අතර තරගයක් ඇති කරවන්නේ බරණැස් රජතුමා ය. මෙම අවස්ථවේ දී ගුත්තිල ඇදුරු තුමන් තම ශිෂ්‍යයාට සැධාරණය ඉටුකරලීමට ඉදිරිපත් වූයේ නැත. මෙයින් පිළිබිඹු කෙරෙන්නේ බලය හමුවේ සාධාරණත්වය හා දුබලයා යටපත් කෙරෙන බවයි.
බලය හමුවේ සත්‍යය යටපත් වන ආකාරය සමාජයේ ලක්ෂණයකි. බලය මානවයා තුළ ඇති ලක්ෂණයකි. සෑම රදළ සමාජයකම ගුරුවරු වනාහී පාලක පංතියේ ආශාවන් නියෝජනය කරන්නෝ ය. ශක්‍‍්‍රයා ගුත්තිල ඇඳුරු තුමාට අයථා ලෙස උදව් ලබා දී මූසිල රැුවටීමට ලක් කරයි. මෙය සමාජයේ සුලබව දැකිය හැකි ලක්ෂණයකි. ධනය සහ බලයෙන් වැඩි තැනැත්තා අනෙකාව පහතට ඇඳ දැමීම මානව ගුණයකි.

 අප බෝසතුන්         මිස
 අනෙකකු නොම අසන    ලෙස
 සුර රජ සිට                අහස
 තතක් සිඳුවයි කීය එ       විගස

 ගුත්තිල මහ             සිපී
 සක් දෙව් බසින්          සැතපී
 මින් දිනැමයි               දැපී
 බමර තත පළමුයෙන්      සිඳපී

ශක්‍‍්‍ර දෙවියන් දෙදෙනා සමව වීණා වාදනය කරමින් සිටිද්දී අන් කෙනෙකුට නොඇසෙන ලෙස ගුත්තිලට රහසින් එක් තතක් සිඳින ලෙසට පැවසීය. ශක‍්‍රයාගේ වචනෙන් ඉතා සතුටට පැමිණ මෙයින් ආඩම්බර වී තමා දිනන බව දැනගෙන තත සිඳින ලදි. කුමන අයුරකින් හෝ ජයග‍්‍රහණය කිරීම මානවයාගේ ලක්ෂණයකි. සෑම විටම තවකෙකු පරයා යෑමට කටයුතු කිරීම යන්න මිනිස් ස්වභාවයයි.
තණ්හාව නැමති ගුණය ද මානව කේන්ද්‍රීය ගුණයකි. එය සෑම මිනිසෙකු තුළම අඩුවැඩි වශයෙන් පවතී. මූසිල සහ ගුත්තිල චරිත දෙකෙන්ම එම ගුණය ඉස්මතු වන අවස්ථා හඳුනාගත හැකි ය. ගුත්තිල විසින් ශක‍්‍ර දෙවියන්ගේ බසට අවනතව වීණාවෙහි තතක් සිඳීමෙන් පසු තමාද ඒ හා සම වීමට වීණාවේ තත සිඳීමේ අවස්ථාව දැක්විය හැකි ය.
 කෙළෙහි ගුණ         සින්දේ
 මූසිල               අන්දමන්දේ
 ජයෙහි ලොබ         බැන්දේ
 තමා වීණා තත ද          සින්දේ

අනුවණකම්               කෙළේ
ගුරුන් ගුණ සිහි          නොකෙළේ
නද ඉන් නො                 පතළේ
අයස ම ය මුළු දියත          පතළේ

තම ගුරුවරයාගේ ගුණ සිහි නොකළ මූසිලයන් මෝඩ විය. එයින් අවසානයේ ඔහුට ඉතිරි වූයේ අපකීර්තිය පමණි. මින් සෑම මානවයාට උපදේශයක් ලබා දෙයි. තමාගේ පමණ දැන කටයුතු කිරීම සහ අධික තණ්හාව තමාට විනාශය කැඳවන බවයි.
මූසිලගේචරිතය රසිකයාගේ අනුකම්පාවට වඩාත් ලක් වන්නේ ශක‍්‍රයාගේ ආධාරය ලබාගෙන ගුත්තිල ඔහු පරදවන සිදුවීම දැක්වීමේ දී ය. ශක‍්‍රයාගේ වරය අනියම් ලෙස ලබා ගත් ගුත්තිල තත් සි`දිමින් වීණා වාදනය කරද්දී, සුර`ගනන් බැස නර්තනයේ යෙදෙද්දී එවැනි ආධාරයක් නොලබන මූසිලගේ වීණා නාදය ක‍්‍රමයෙන් පසු බැස යයි.  කතුවරයා විඳි අනුභූතිය සමාජ අනුභූතියක් බවට පත් කිරීම. සමාජය වැරදිකරුවන් දෙස බලන්නේ ද්වේශ සහගත සිතුවිල්ලෙනි. ඔවුන් සැමදා වැරදිකරුවන් මිනිස් සිතුවිල්ලයි. එහෙත් වැරදිකරුවා වැරදිකරුවෙක් වන්නේ වැරුද්ද කරන තුරු පමණි. එසේම ඔහු දිවි ඇති තුරා වැරදිකරුවෙක් නොවේ. ඔවුන් දෙස සානුකම්පිත බැල්මක් හෙළිමට හැකි වන්නේ අත්ළොස්සකට පමණි. එම සමාජ දර්ශනය ගුත්තිල කාව්‍ය මගින් විශද කර ඇත්තේ මෙලෙසින
යන ඔහු අසර                       ණින්
දුටු දුටු දනෝ උර                   ණින්
තමන් බල පම                           ණින්
දෙමින් කැට බැට මුගුරු පහ           ණින්

පසුව පරාජයට පත් වූ මූසිලට රැුස් ව සිටි පිරිසගෙන් ප‍්‍රහාර එල්ලවෙයි. නමුත් ගුත්තිල තම ශිෂ්‍යයා කෙරෙහි අනුකම්පාවක් නොදක්වයි. ගුත්තිලගේ විජයග‍්‍රහණයත් සමග මූසිලගේ අයුක්ති සහගත පරාජය සැසඳී වෙනස ඒ තුළ මනාව කැපී පෙනෙන අතර එය පාඨකයාට සමාජ යථාර්ථය පිළිබඳ නැවත ආවර්ජනය කිරීමට මඟපාදයි. ජාතක කතා කරු මේ අවස්ථාව තුළ මූසිල කෙරෙහි ඇති කරවන්නේ අනුකම්පාවක් නොවේ. නමුත් වෑත්තෑවේ හිමියන් මූසිලට මේ ඉරණම අත්වූයේ ගුත්තිල විසින් වංචාවෙන් ලද ජයග‍්‍රහණය නිසා බව පෙන්වයි. නමුත් ගල් මුල් ගසන ජනයා සත්‍ය නොදනී. මෙය එදා සමාජයේ පමණක් නොව වර්තමාන සමාජයේ ද දැකිය හැකි ලක්ෂණයකි. ධනය, බලය හමුවේ අසාධාරණත්වයට ජයග‍්‍රහණය හිමි වන ගුත්තිල ලා මෙන් ම එම බලය හමුවේ අසරණ වන මූසිලලා ද සිටින වග වෑත්තෑවේ හිමියෝ පසක් කර දේ. මෙය වාව කේන්ද්‍රිය ලක්ෂණයකි. තමාගේ ජයග‍්‍රහණය කුමන අසාධාරණ ලෙස හෝ හිමිකර ගැනීමට මිනිසුන් කැමති ය. ඒ මානවයා සතු බලය පිළිබඳව වන තණ්හාව සහ කෑදරකම නිසාවෙන් ය.
ශිෂ්‍යයාගේ පරාජය ගුත්තිලට වේදනාවක් ගෙන නොදෙන්නකි. වැරදි කරුවා සදාකාලිකව වරදකරුවෙක් නොකළ යුතු බව මෙහි දී කවියා ව්‍යංගයෙන් දක්වයි. බලය හමුවේ සත්‍යය යටපත් වන ආකාරය සමාජයේ ලක්ෂණයකි. බලය මානවයා තුළ ඇති ලක්ෂණයකි. සෑම රදළ සමාජයකම ගුරුවරු වනාහී පාලක පංතියේ ආශාවන් නියෝජනය කරන්නෝ ය.
බැ`දී විලි    කඹයෙන්
තැති ගෙන ජය සකොබයෙන්
උන් මූසිල බයෙන්
පිටත් කළෙ එරජ රජ    සබයෙන්

අවසානයේ දී මූසිල තම පරාජය හමුවේ ඉතා අසරණ ත්තවයට පත්වෙයි. ලැජ්ජාවට හා බියට පත්වෙයි.

මූසිල මෙපුර    තට
නුවරෙක් නොවෙයි ඉ`දිනට
ඉන් තෝ මෙහි නොසිට
යවයි නෙරපූය යම පුරයට

අවසානයේ දී මූසිල පරදී, ගුත්තිල ජය ගනී. එහෙත් ගුත්තිල දිනුම ලබා ගත්තේ සැබෑ ලෙස ම තම දක්ෂතාවයෙන් ද වංචාවෙන් ද යන්න පිළිබ`දව පාථකයාට සිතීමට දෙයක් රචකයා විසින් ඉතිරි කෙරයි. බලවතා ජයගත් තැන යුක්තිය හා සාධාරණය සැ`ගවෙන බව ද මෙයින් ගම්‍ය කෙරෙයි. ගුරු සිසු සබඳතාවේ ස්වභාවය, ශිෂ්‍යයා කෙරෙහි ඇති වන ගුරුවරයාගේ ඊර්ෂ්‍යාව, බලය හමුවේ සත්‍යය යටපත් වන ආකාරය, දක්ෂතාවයට නිසි තැන නොලැබීම, ඊර්ෂ්‍යාව, තණ්හාව වැනි ලක්ෂණ මානවයා සතු ලක්ෂණ ගුත්තිල ප`ඩිවරයාගෙන් ද ප‍්‍රකට වෙයි.
ශක‍්‍රයා ගුත්තිල ඇඳුරු තුමාට අයථා ලෙස උදව් ලබා දී මූසිල රැුවටීමට ලක් කරයි. මෙය සමාජයේ සුලබව දැකිය හැකි ලක්ෂණයකි. ගුත්තිල සහ මූසිල චරිත ද්විත්වය ම නිර්මාණය කර ඇත්තේ මානව කේන්ද්‍රීය ලක්ෂණ උපයෝගී කර ගනිමින් ය. අතිශෝක්තියෙන් තොරව සැබෑ මිනිස් ගති එහිදී මනාව විවරණය කිරීමට උන්වහන්සේ සමත්ව ඇත. ධනය සහ බලයෙන් වැඩි තැනැත්තා අනෙකාව පහතට ඇඳ දැමීම මානව සමාජයේ දක්නට ලැබෙන ලක්ෂණයකි. දේශපාලනය, බලය, ගිනි අවුලන බවත් එම බලය හමුවේ දක්ෂයාට පරාජය හිමිවන සමාජ දර්ශනය කතුවරයා මෙම`ගින් ඒත්තු ගන්වා ඇත. අවසන ධනය බලය හමුවේ දක්ෂයා පීඩිත අසරණයෙකු වන සමාජ දර්ශනය කතුවරයා මූසිල අවසන යමපුරයට නෙරපීමෙන් දැනුවත් කර ඇත. සත්‍ය වෙනුවෙනන් පෙනි සිටීම, නිවැරදි ඉල්ලීම් ඉල්ලීම තුළ අවසානයේ සිරබත් කෑමට සිදු වන බව කතුවරයා සමාජයේ අදාළ යථාර්ථය හා මානව කේන්ද්‍රීය ලක්ෂණ තම නිර්මාණට ඈ`දා ගනිමින් කවියා තම නිර්මාණය අවසන් කරයි.






ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
මහාචාර්ය ගම්ලත්, සුචරිත, ගුත්තිල විනිස, 1977, විජිතසේන රත්නායක, ඉන්දික මුද්‍රණාලය, කොළඹ 10.
සැබිහෙළ, ඉසි, අලවු, ගුත්තිල පහදනය, 1965, සීමාසහිත ඇම්. ඞී ගුණසේන සහ සමාගම, කොළඹ 11.
මල්ලවආරච්චි. එස්. ජේ(සංස්.8, ගුත්තිල කාව්‍ය, 2004, ශී‍්‍ර ජය මුද්‍රණ හා ප‍්‍රකාශන, ජයන්ති මාවත, හිඹුටාන.
හේවා මද්දුම, අමර, සම්භාව්‍ය සාහිත්‍යයට පිවිසුමක්, 1995, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
වික‍්‍රමසිංහ, කේ. ඞී, කෝට්ටේ යුගයේ සාහිත්‍යය, 1964, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
වික‍්‍රමසිංහ, මාර්ටින්, විචාර ලිපි, 1941, සීමාසහිත තිසර ප‍්‍රකාශකයෝ, 129, දුටුගැමුණු වීදිය, දෙහිවල.



 

18 comments:

  1. Hithanna godak dewal me wicharayen ganna thiyenawa

    ReplyDelete
  2. නියමයි ඒක..වටිනවා ගොඩාක්ම්

    ReplyDelete
  3. ගොඩක් වටින දෙයක්

    ReplyDelete
  4. අනෙක් කොටස කොහොමද බල්න්නෙ

    ReplyDelete

#save #nature